Saturday, October 5, 2013

දුරකථන පෙම




මිනිසුන්ගෙ ජීවිතවල ඉරණම මොන විදියකට විසඳෙයිද කියල අපි කාටවත් කල් ඇතිව කියන්න බැහැ... පුංචි කාලෙ ඉඳන් දහදුක් විඳගෙන ජීවිතයේ යමක් කමක් තේරුම් ගන්න පුළුවන් වයසට ආවහම අපි කවුරුත් හිතන්නෙ හරි, දැන් අපිට ඕන විදියට අපේ ඉරණම විසඳගන්න පුළුවන් කියලා... ඒත්, අපි කවුරුත් නොහිතන විදියට අපේ ඉරණම අපිටම කුරිරු වෙන වෙලාවල් ඕන තරම් තියෙනවා.

අකුරැස්ස, උෟරුමුත්ත ප්‍රදේශයේ ජීවත්වෙලා හිටිය නිසංසලාත් තමන්ගෙ ජීවිතේ ගැන හිතුවෙ අන්න ඒ විදියට... කිසිම බරක් පතළක් නැතිව තරුණ වයසට එනකොට නිසංසලාත් හිතුවෙ එයාගේ ජීවිතේ ඉදිරිගමන හදාගන්න ඕන එයාට ඕන විදියට කියලයි.


මේ විදියට ඉන්නකොට තමයි නිසංසලාගේ උරුමක්කාරයා හමුවෙන්නෙ. ටික කාලයක් ප්‍රේම කරපු නිසංසලයි අරුණයි එකවහලක් යටට වුණු දවසෙ ඉඳලම නිසංසලා එයාගෙ අනාගත හීන මාලිගාව ගැන ගොඩාක් හීන එයාගෙ සැමියටත් කියන්න ගත්තා. 


මේ දෙන්නගෙ ආදරය, කුරුලු ජෝඩුවක් වගේ ගෙවපු ජීවිතය අහල පහළ කාටවත් රහසක් වුණේ නැහැ.... ඔය විදියට අවුරුදු කිහිපයක් යනකොට මේ පුංචි පවුලට පුංචි පැටවු දෙදෙනකුත් එකතු වුණා. 

හැබැයි මේ අම්මයි, තාත්තයි පැටව් දෙන්නයි ටික කාලයයි සතුටින් එක වහලක් යට ජීවත් වුණේ... නිසංසලාගෙ සැමියාට නිතර නිතර බිරියගෙ වැරැදි අඩුපාඩු පේන්න ගත්තා. අන්තිමේදී වුණේ දරුවො දෙන්නවයි නිසංසලාවයි තනිකරලා දාපු නිසංසලාගෙ සැමියා වෙන අතක් බලාගත්තු එක.
තරුණ වයසෙදිම දරුවො දෙන්නෙක් එක්ක හසරක් නොදන්න ජීවිතයේ අතරමං වුණ නිසංසලා දරුවො දෙන්නව ජීවත් කරවන්න හිතාගෙන කොග්ගල ප්‍රදේශයේ ඇඟලුම් කම්හලකට සේවයට ගියා. වැඩිවියට පත්වුණු දුවෙක් ඉන්න අම්ම කෙනෙක්වත්, අවුරුදු 38ක ගැහැනියක්වත් කියලා බැලූ බැල්මට නම් නිසංසලා දිහා බලපු කෙනකුට කියන්න බැරි වුණා.


දරුවො හිටියට, සැමියා දාල ගියාට නිසංසලාගෙ හිතෙත් තරුණ වයසෙ ඇතිවෙන හැඟීම් දැනීම් ඒ විදියටම ඇතිවෙනකොට නිසංසලා කළේ ගොඩාක් අය වගේ ජංගම දුරකතනයේ පිහිට පතන එක. මේ දවස්වල නිසංසලාටත් ජංගම දුරකතනයෙන් තොර ජීවිතයක් තිබුණෙම නැති තරම්. මේ නිසාම එයා සහෝදර ඇඟලුම් සේවිකාවන් අතරෙත් ජනප්‍රිය චරිතයක් වුණා.


මේ විදියට ටික දවසක් යනකොට තමයි නිසංසලාගේ ජංගම දුරකතනයේ නාද වුණු නවීන පන්නයේ ගීතය වරක් දෙවරක් විතර ශබ්ද කරල නැවතුණේ. ෆෝන් එක අතට ගත්තු නිසංසලා දෙපාරක්ම ඇවිත් තිබුණු මිස් කෝල් එකට ආපහු සැරයක් රින්ග් කරල බැලුවෙ මේ එයාගේ ජීවිතේ වෙනස් කරන තීරණාත්මක සිදුවීමට මුල කියලා හිතාගෙන නෙවෙයි වෙන්න ඇති. ඒත් එහා කොනින් ඇහුණු තරුණයාගෙ කටහඬ නිසංසලාව ආයෙත් පාරක් එයාගේ ප්‍රේමණීය අතීතයට ගෙනයන්න සමත් වුණා.

මොහොතකට කලින් නමක් ගමක්වත් නොදන්න මේ නන්නාඳුනන අවුරුදු 19ක තරුණයා එක්ක මේ දුරකතන සාකච්ඡාවෙන් පස්සේ නිසංසලා ගොඩාක්ම සමීප වුණා. ඒ සංවාදෙන් පස්සෙත් කිහිප සැරයක්ම ෆෝන් එක හරහා මේ දෙන්නා ගොඩාක් සමීප වුණා. අන්තිමේ දෙන්නාට දෙන්නා නොදැක ඉන්න බැරිතැනටම මේ සම්බන්ධෙත් දුරදිග ගියා. 


දරුවො දෙන්නගෙ අනාගතේ ගැනවත් වගකීමෙන් නොහිතපු නිසංසලාට ඕන වුණේ අන්තිමේ මේ දුරකතන පෙම්වතාගේ චාටු පෙම් බස් සහ ප්‍රේමණීය හමුවීම් විතරයි. 

උෟරුබොක්ක ප්‍රදේශයේ තරුණයෙක් වුණු නිසංසලාගේ දුරකතන පෙම්වතාටත් අන්තිමේ ඇයව නිතර නිතර මුණගැහෙන එක තෘප්තියක් වුණා. මේ හින්දම මේ දෙන්න නිතර නිතර මුණ ගැහිල ප්‍රේමණීය හෝරාවන් කිහිපයක්ම ගත කළේ ඉස්සරහට වෙන්නෙ මොකක්ද කියලවත් හිතන්නෙ නැතිව.

දෙන්නට දෙන්න අතරෙ හොඳ විශ්වාසයක් ඇතිකර ගත්තට පස්සෙ දවසක් පෙම්වතා නිසංසලාට අපූරු යෝජනාවක් කළා....


“එක දිගට රස්සාව කරල ඔයාටත් එපා වෙලා ඇතිනෙ. අපි හෙට මාතරදි ටිකක් මීට් වෙමු.” 


“මාත් කාලෙකින් ඔයාව දැක්කෙ නැහැ...”


 පෙම්වතා මේ විදියට කියද්දි නිසංසලත් ඒකට කැමැති වුණේ එක පයින්. 

නිසංසලා පසුගිය 29 වැනිදා දුරකතන පෙම්වතාව හමුවෙන්න මාතරට යමින් ගමනුයි හිටියෙ. එක පාරටම නාදවෙන්න ගත්ත ෆෝන් එක එහා කෙළවරින් නිසංසලාට ඇහුණෙ පෙම්වතාගෙ කටහඬ....


“අනේ රත්තරන්, මම ආපු ත්‍රීවීලර් එක මේ මඟදි කැඩුණනෙ. ඔයාට පුළුවන්ද තරහ නැතිව අකුරැස්සටම එන්න.... අපි එහෙ ගිහින් ඇතාමල ඇල්ල බලන්න යමු... මාත් ත්‍රීවීල් එක හදාගෙන අකුරැස්සට එන්නම්....” 


ඇයට මේක අදහාගන්නවත් බැරි යෝජනාවක් වුණා.

 ආදරයේ පිපාසාවෙන් හිටිය නිසංසලාට මේකට අකැමැති වෙන්න කිසිම හේතුවක් තිබුණෙ නැහැ. නිසංසලාත් දෙපාරක් හිතන්නෙ නැතිව කෙළින්ම ගියේ අකුරැස්සට. ඒ පෙම්වතාව මුණ ගැහෙන්න.

ඇතාමල ඇල්ල කියන්නෙ ඉරිදා දවස්වලට තරුණ ජෝඩුවලට ගොඩාක් නිදහසක් ලැබෙන තැනක්. ඒකටම හරියන ගල්ගුහා ලඳු කැලෑ ඇතාමල ඇල්ල ප්‍රදේශයේ එමටයි. ඉතින් එදා නිසංසලාටත් මේ ස්ථානය තමන්ගෙ සිතැඟි ඉටු කරගන්න හොඳම තැනක් වුණා.


හවස දෙකට විතර ඇල්ල ළඟට ආපු මේ දෙන්නව බස්සවපු ත්‍රීවීලරය ආපහු යන්න ගියා. නිසංසලා හිතුවෙ එයාගෙ ප්‍රේමවන්තයා, ආරක්ෂකයා ඉන්න තැන එයාට කිසිම දේකට බයවෙන්න ඕන නැහැ කියලයි. ඒත් මේ වෙලාවෙ දුරකතන පෙම්වතාගෙ හිතේ නම් ක්‍රියාත්මක වුණේ වෙනමම අදහසක්. දෙන්නත් එක්ක පෙම්සුව විඳින අතරතුරේ පෙම්වතා නිසංසලාට හොරෙන් තමන්ගේ අරමුණ ක්‍රියාත්මක කරන්නට වුණා.


“ඉක්මනට වරෙන් බං. දැන් හවස් වෙනකොට මේකි යන්න දඟලයි. උඹලට මං කියන වෙලාවට එන්න බැරිනම් ඉතින් මම දන්නෙ නෑ... ආයෙ නම් මේ වගේ චාන්ස් එකක් ලැබෙන්නෙ නෑ...” 


දුරකතන පෙම්වතා එයාගේ මිතුරන් කිහිපදෙනාට නිතරම නිතරම දුරකතනයෙන් කතා කර කිව්වා.

“දැන් ගොඩාක් හවස් වෙලා... අපි යමු.” 


නිසංසලා පෙම්වතාට කියන කොට තවත් ටිකක් ආදරණීය වුණු පෙම්වතා කිව්වෙ තව ටික වෙලාවක් ඉඳලා යමුයි කියලා... මේ විදියට මිතුරො ටික ඇල්ල ළඟට එනකල් කල් මරපු දුරකතන පෙම්වතා අන්තිමට තවත් අමානුෂික විදියට තමන්ගෙ සැලසුමේ ඉතිරි හරියත් ක්‍රියාත්මක කරන්න වුණා.

“පල්ලෙහාට යනකොට කොල්ලො ඉන්නවා. උන් මේ වෙලාවට බීලත් ඇත්තේ. හවස් වෙලත්නෙ ගොඩාක්. ඔයා ඉස්සර වෙලා යන්න. මම පස්සෙන් එන්නම්” 


කියූ පෙම්වතා නිසංසලාට යන්න ඇරියා. පහළට යනකොට ත්‍රීවීලරයක තරුණයො හය දෙනෙක් ඉන්නව දැකපු නිසංසලා ටිකක් තිගැස්සුණත් පස්සෙන් පෙම්වතා ඉන්නවනෙ කියලා හිතාගෙන ඉස්සරහටම ගියා... 

ඒ අතරෙ තමයි ඔවුන් අතරෙ හිටිය එක තරුණයෙක් නිසංසලාට අයුතු යෝජනාවක් කළේ. මේකෙන් එයා ටිකක් බයවෙලා ආපහු හැරිල යන්න හදන කොටයි එයා දැක්කෙ එයාගෙ දුරකතන පෙම්වතා එයාව අතරමං කරල දාලා මාරුවෙලා කියලා.... ඒත් එක්කම ආපස්සට දුවන්න හදපු නිසංසලාට තරුණයන්ගෙන් තර්ජනයක් ආවා.

“ඔහොම නැවතියන්... නැත්නම් උඹව මෙතැනම මරා දානවා....” 


නිසංසලාට මේ තර්ජනයත් එක්ක එයාගෙ දරුවො දෙන්නව මතක් වුණා. ජීවිතේ වටිනාකම සිහිපත් වුණා... 

“කරන්න දෙයක් නැහැ. මුන් කියන දෙයක් කරන්න වෙනවා....” 

නිසංසලා එහෙම හිතාගෙනයි නැවතුණේ....

අන්තිමේ ඇල්ල ළඟ ජල විදුලි බලාගාරයක් සඳහා ඉදිකරලා අතහැරලා දාපු ටැංකියක් ගාවදි නිසංසලා මේ තරුණයො හය දෙනාගෙන් කිහිප දෙනෙකුගේම අතින් දූෂණයට ලක් වුණා... 


 එතැනිනුත් නිසංසලාව අත් නොහැරපු මේ නරුමයො ටික ඊළඟට කළේ ඒ ළඟ තිබුණු තේ වත්තකට ඇයව අරගෙන ගිහින් එක තරුණයෙක් ඇයත් එක්ක ඉන්නකොට තවත් එකෙක් ජංගම දුරකතනයෙන් ඒක වීඩියෝ කරන එක. අවසානයේ නිසංසලාට මුහුණ දෙන්න වුණු මේ සියලුම සිදුවීම් එක පෙළට චිත්‍රපටයක් වගේ ජංගම දුරකතනයේ වීඩියෝ වෙලා තිබුණා.

මේ විදියට තමන්ගෙ මුළු ආත්මෙම විනාශ කරපු මේ තරුණයන්ගෙන් බේරෙන්න නිසංසලා තේවත්ත දෙවනත් වෙන්න කෑගැහුවා. ඒ කෑ ගැසීම ඇහුණු තේ වත්තෙ වැඩකරපු කෙනෙක් මොරවක පොලිසියේ සැරයන් රණතුංග මහතාට මේ ගැන දුරකතන ඇමතුමකින් කියා සිටියා. 


ඒ අනුව පොලිස් ස්ථානාධිපති ආර්.ඇම්.අයි.බී. රත්නායක මහතා දැනුම්වත් කිරීමෙන් පස්සේ ඔහුගේ උපදෙස් මත පො.කො. නන්ද කුමාර (52606), පො.කො. ඩයස් (68884), කා.පො.කො. කරුණරත්න (5333) කියන නිලධාරීන් එක්ක සිද්ධිය වූ ස්ථානයට ගියා. 

පොලිසිය එනව දැකපු හතර දෙනෙක් ඒ වෙනකොටත් පැනල ගියත් නිසංසලාට කරදර කරපු තුන් දෙනෙක් සහ ඔවුන් ආපු ත්‍රීවීලරය අත්අඩංගුවට ගත්තු පොලිසිය සිද්ධියම වීඩියෝ වී තිබුණු ජංගම දුරකතනයත් අත්අඩංගුවට ගත්තා. පොලිසියට අහුවුණු මේ තුන්දෙනාම අවුරුදු 19-21 අතරෙ වයසෙ පසුවුණු තරුණයො. මේ අය ඊඳඩුකිත, රඹුකන, කොඩිකාරගොඩ පදිංචි අය කියලයි පොලිසිය කිව්වෙ.

අන්තිමේ මේ සිදුවීම් වීඩියෝ කළ 20 හැවිරිදි තරුණයා 30 වැනිදා රෑ තමන්ගේම ගෙදර මිදුලෙ තිබුණු මිල්ල ගහක ගෙල වැලලාගෙන මියගොස් සිටියා. තවත් සිද්ධියට සම්බන්ධ පාසල් සිසුවෙක් 02දා උදේ මොරවකදී අත්අඩංගුවට ගත්තා. නිසංසලාගෙ දුරකතන පෙම්වතාවයි තවත් තරුණයෙක්වයි පොලිසිය තවමත් හොයනවා.

මිස් කෝල් එකකින් සුහද වෙලා අනියම් පෙම්සුව විඳින්න ගිය නිසංසලාට අන්තිමේ වුණේ පෙම්වතාගෙ යාළුවො අතින් දූෂණය වෙලා රෝහලට යන්න. පෙම්වතාට වුණේ හැමදාමත් පොලිසියට බයේ කට්ටි පනින්න. මේ අධම වැඩේට හවුල් වුණු නරුමයො ටිකට වුණේ මේ මාසෙ 14 වැනිදා වෙනකල් හිර කූඩුවේ කූරු ගනින්න. තරුණ වයසෙ හිතට එන අදහස් ඒ විදියටම ක්‍රියාත්මක කරන්න ගියාම දවසක මේ වගේ දේවලුත් වෙනව කියලා නොහිතපු එකෙන් මේ හැමෝගෙම ජීවිත අඳුරට වැටුණා. නිසංසලාගෙ දරුවන්ටත් වුණේ සමාජයේ ගැරහුම්වලට මූණ දෙන්නම විතරයි.



මව්බිමෙන් උපුටාගැනීමක් 

www.geek.lkවෙබ් පිටුව ඇසුරෙනි.
විශේෂ ස්තූතිය. (vinode77)

6 comments:

  1. මාර වටින කථාවක් මචන්...
    එල...

    ReplyDelete
    Replies
    1. තව ඉදිරියට තව වටිනා කථෘ තඉදිරිපත් කරනව.. රැඳී සිටින්න අප සමග..

      Delete
  2. පට්ට කථාව මචන්...
    තෑන්ක්ස්...

    ReplyDelete
    Replies
    1. රැඳී සිටින්න දිගින් දිගටම අප සමග... ස්තූතියි

      Delete
  3. රවියෝ උඹ නම් දක්ෂ ලේඛකයෙක්.වාසනාවන්ත අනාගතයකට අපෙන් ආසිරි............

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ස්තූතියි...

      Delete