ස්ථූප
හැඳින්වීම
මෘත ශරීර භූමදානයෙන් පසු ඒ මත පස් ගොඩැලි සෑදීම සහ ඒවා ප්‍රදේශවාසීන්ගේ
බුහුමන්වලට ලක්වීම ස්ථූප තැනීමේ මූලාරම්භය විය. පසු කාලයක දී ස්ථූප පිදීම
බෞද්ධ ආගමේ ද අංගයක් විය. ස්ථූප වේද සමයේ ඉන්දියාවේ සුසාන (ශ්මශාන) නිසා
ඇති වුයේ යයි යන මතය මීට අවුරුදු 117කට පමණ පෙර ෆර්ගසන් මහතා විසින්
ඉදිරිපත් කරන ලද මතයකි. ශ්මශාන හෙවත් සුසාන චතුරස්‍රාකාර හැඩයෙන් හා
වෘත්තාකාර හැඩයෙන් ද යුක්ත ය. වෘත්තාකාර ශ්මශාන අසුරයන්ගේ වන අතර
චතුරස්‍රාකාර ශ්මශාන දෙවියන්ගේ ය. ස්ථූප තුළ ඇති ධාතු ගර්භය චතුරස්‍රාකාර
ය. එය වසා තැනෙන ස්ථූපය සාමාන‍්‍යයෙන් වෘත්තාකාර ය.
බෞද්ධ ජාතක කතාවලට අනුව ප්‍රාග් බෞද්ධ හෝ බෞද්ධ සමකාලීන ස්ථූප විශේෂයක් විය. ඒවායේ තැන්පත් කර තිබුණේ ද කිසියම් මළ කෙනෙකුගේ ශාරීරික අවශේෂයන් ය. ජාතක කතාවල සඳහන් විස්තරය ද ෆර්ගසන්ගේ මතය හා සැසඳේ. එහෙත් ඒවා බෞද්ධ ස්ථූප ලෙස සැලකීම අපහසු ය.
මෙම මතයට විරුද්ධ මතයක් වී.ඇස්. අග්‍රාවල මහතා ඉදිරිපත් කර ඇත. ඔහු විශ්ව ලෝකය වෛදික හිරණ්‍ය ස්ථූපය ප්‍රභව කොට ඇති වූවක් බව පෙන්වා දෙන ලදී. හිරණ්‍ය ස්ථූපයේ මහා පුරුෂ (වෛදික බ්‍රාහ්මන් ) සංකේතවත් වන බවත් ඒ අනුව බුදුන් වහන්සේ සංකේතවත් කිරීම පිණිස බෞද්ධයන් අතරට ස්ථූපය පැමිණි බවත් පෙන්වා දෙන ලදී.
බෞද්ධ ස්ථූපයේ ප්‍රභවය
බෞද්ධ ස්ථූපය ද මහා පුරුෂ ඇදහීම සම්බන්ධයෙන් ඇති වූ සංකේතයකි. මහා පුරුෂ
ගණයට සම්මා සම්බුද්ධ, පසේ බුද්ධ, අර්හත් ශ්‍රාවක, චක්‍රවර්තී රාජ යන
සිව්දෙනා අයත් වේ. චක්‍රවර්තී රජුගේ ද ශරීරය දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන්
සමන්විත ය. පරිනිර්වාණයෙන් පසු බුදුහු ධර්මකාය ස්වරූපයෙන් සදාකාලික වෙති.
බෞද්ධ ස්ථූපය තුළ ඒ බුදුහු ජීවමාන ව වැඩ සිටිති. ස්ථූපය සියලු බුදුවරුන්
වැඩ සිටින මණ්ඩලයක් ලෙස තාන්ත්‍රික බෞද්ධයෝ ද සලකති. බුද්ධ වංශයේ බුදුරදුන්
ථූපයට සමාන ලෙස සලකා තිබීමෙන් මෙය තවදුරටත් තහවුරු වේ.
මහායාන සම්ප්‍රදායට අනුව සම්භෝගය දෙතිස් මහා පුරුෂ ලක්ෂණ හා අසීතානුව්‍යඤ්ජනවලින් සමන්විත ය. ධර්මකායේ සම්භෝග අවස්ථාව ඉන් දැක්වේ. මේ අනුව ධර්මකාය හෙවත් බුදුරදුන් හෝ එය මානවරූප ව සංකේතවත් කෙරෙන සම්භෝගකාය හෝ ධ්‍යානී බුදුවරු තැන්පත් කොට ස්ථූප තැනීම ඓතිහාසික බුදුරජාණන් වහන්සේගේ භෂ්මාවශේෂ තැන්පත් කර ස්ථූප තැනීම ශ්‍රේෂ්ඨත්වයෙන් සලකන ලදී.
ථෙරවාදීහු ඓතිහාසික සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ ඇතුළු පශ්චිම භවික මානුෂී බෝධිසත්වයන්ට ද මහා පුරුෂත්වය ආරෝපණය කළහ. මෙසේ දෙපක්ෂය ම මහා පුරුෂ සංකල්පය පිළිගෙන ඇති බවත් මහා පුරුෂයන් සිටින ස්මාරකයන් ලෙස හෝ මහා පුරුෂ සංකේතයක් වශයෙන් ස්ථූපය දෙපක්ෂය ම පිළිගෙන ඇති බව අනාවරණය වෙයි. මේ තත්ත්වය අනුව බෞද්ධ ස්ථූප වෛදික මහා පුරුෂ සංකල්පය බැඳි හිරණ්‍ය ස්ථූප ප්‍රභව කොට ඇති බව අග්‍රාවාලගේ මතය නිවැරදි සේ පෙනේ.
බෞද්ධ ස්ථූපයේ ඉතිහාසය
බෞද්ධ ස්ථූප ගොඩනැඟීම ආරම්භ වූයේ බුදුන් ජීවමාන ව සිටියදී ම ය. බුදුන්
ජීවමාන ව සිටියදී ම පිරිනිවන් පෑ ශාරිපුත්ත, මොග්ගල්ලාන අගසව් දෙනමගේ
භෂ්මාවශේෂ තැන්පත් කොට ස්ථූප තනන ලදී. ඒ සඳහා උපදෙස් දෙන ලද්දේ බුදු රජාණන්
වහන්සේ ය.
බුදුන් වහන්සේ පිරිනිවන් පෑමට ප්‍රථම ආනන්ද හිමියන් විමසන ලදුව
තමන් වහන්සේ පිරිනිවීමෙන් පසු ව මෘත දේහය සක්විති රජෙකුගේ මෘතදේහයට මෙන්
සලකා ආදාහනය කොට සිව් මංසන්ධියක ස්ථූපයක් තනවා ප්‍රදක්ෂිණා කිරීමෙන්
මල්දම් පැළඳවීමෙන් සුවඳසුණු ගැල්වීමෙන් එය පූජා කරන ලෙස පැවසූ බව මහා
වග්ගයෙහි සඳහන් වේ. මෙය ප්‍රාග් බෞද්ධ චක්‍රවර්තී වන්දනාව අනුගමනය කිරීමකි. මේ දෙකෙන් ම මහා පුරුෂ වන්දනාව අදහස් කෙරේ.
සර්වාස්තිවාදි විනයෙහි දැක්වෙන පරිදි අනාථ පිණ්ඩික ද බුදු රජාණන් වහන්සේගෙන් කෙස් හා නිය ලබා ගෙන ඒවා තැන්පත් කොට ස්ථූපයක් තැනීමට බුදු රජාණන් වහන්සේගෙන් අවසර ලබා ගෙන ඇත. එම ස්ථූපය බිත්ති රතු, කළු, සුදු වර්ණ ආලේප කිරීමට ද මෛතුන රූප හැර වෙනත් ඕනෑ ම රූපයක් ඇඳීමට ද දොරටුවලට දොරවල් සවි කිරීමට ද දොරටු ඉදිරිපිට වටේට ගරාදි වැට තැනීමට ද විමානවල කුඩා ස්ථූප තැනීමට ද කුළුණු යෙදීමට හා ඒවා පාට කිරීමට ද ඔහු බුදුන්ගෙන් අවසර ලබා ගෙන ඇත.
මහා සාංඝික විනයෙහි එන පරිදි බුදුරදුන් විසින් ම කාශ්‍යප බුදුරදුන් උදෙසා ස්ථූපයක් තනවන ලදී. ගඩොලින් තනන ලද එම ස්ථූපය රන් හා රිදී තහඩුවලින් වසන ලදී. එම ස්තූපය යොදුනක් උස ය. එහි අර්ධ විෂ්කම්භය යොදුන් භාගයකි. ලෝකඩවලින් ගරාදි වැට තනන ලදී. මේ ස්ථූපය තැනීම සඳහා අවුරුදු 7 දින 7 ක් ගත වී ඇත. ස්ථූපයේ හතර පැත්තේ විමාන සිංහ හා ඇත් රෑප ද විය.
කාකි රජු විසින් කරවන ලද ස්ථූපයක් ගැන මහා සාංඝික විනයෙහි සඳහන් වේ. බුදුරදුන් උපන්, බුදු වූ, දම්සක් පැවැත් වූ, පිරිනිවන් පෑ තැන්වල ද චෛත්‍ය තනවනු ලැබී ය.
සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ බුද්ධත්වය ලබා සති හතක් ගිය තැන උන්වහන්සේට පළමු ආහාරය පිදූ තපස්සු හා භල්ලුක යන වෙළඳ සහෝදරයන් දෙදෙනා උන්වහන්සේගෙන් ලබා ගත් කෙස් ශ්‍රී ලංකාවට ගෙනැවිත් නැගෙනහිර වෙරළේ තිරියාය නමින් ප්‍රසිද්ධ ස්ථානයේ ස්ථූපයක් කරවා එහි තැන්පත් කළ බවට සෙල්ලිපියක සඳහන් වේ.
තවද බුදුහු මුලින් ම ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ සමන්තකූටය වාස භවනය කරගත් මහා සුමන දෙවියෝ බුදුන්ගෙන් ලබාගත් කේශ ධාතු තැන්පත් කර මහියංගන චෛත්‍ය කර වූ බව මහා වංශයේ සඳහන් වේ.
ගෞතම බුදුරජාණන් වහන්සේට ජ්‍යෙෂ්ඨ සමකාලිකයෙක් වූ මහාවීර තුමන්ගේ නායකත්වයෙන් පහළ වූ ජෛන ආගමේ ද ස්ථූප වන්දනාව පිළිගෙන තිබේ. එම ස්ථූප බෞද්ධ ස්ථූපවලට සමාන බව සී.එස්.ෂා පවසයි. එම නිසා බෞද්ධයන් බුදුරදුන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කොට ස්ථූප තැනීමට පෙර ජෛනයන් මහාවීර තුමාගේ භෂ්මාවශේෂ තැන්පත් කර ස්ථූප තනන ලද බව සිතිය හැකි ය.
බුදු රජාණන් වහන්සේ පිරිනිවීමෙන් පසු උන්වහන්සේගේ භෂ්මාවශේෂ කොටස් අටකට බෙදා රටවල් අටකට භාර දෙන ලදී. ඒ භෂ්මාවශේෂ ලබාගත් රජගහනුවර අජාසත්ත, වේසාලියෙහි ලිච්ඡවීහු, කපිලවස්තුවේ ශාක්‍යයෝ, අල්ලකප්පයෙහි බුලයෝ, පාචෙය්‍යයෙහි මල්ලවයෝ, කුසිනාරාවේ මල්ලවයෝ ශාරීරික ධාතු කොටස් තැන්පත් කොට ස්ථූප තනා පිදූහ. ධාතු බෙදූ බඳුන (කුම්භය) තැන්පත් කොට ස්ථූපයක් තනා පිදුවේ ය. පිප්ඵලී වනයේ මෞරවයෝ බුදුරදුන්ගේ මෘතදේහය දැවූ සෑයේ අඟුරු ලබා ගෙන ඒවා තැන්පත් කොට ස්ථූපයක් තනා පිදූහ. මේ අනුව බුද්ධ පරිනිර්වාණයට අනතුරුව බෞද්ධ ස්ථූප දහයක් තනා පුදනු ලැබු බව අනාවරණය වෙයි.
රාමගාමයෙහි ස්ථූපයේ තැන්පත් කර තිබූ ධාතු පසු ව මාඤ්ජේරික නාග භවනයෙහි ඝරයක් සහිත ස්ථූපයක තැන්පත් කර තිබී ක්‍රි.පූ.2 වන සියවසේ දී ශ්‍රී ලංකාවේ රාජ්‍ය කළ දුට්ඨගාමිණී රජු විසින් ලබා ගෙන මහා ථූපයේ (රුවන්වැලි සෑයෙහි) තැන්පත් කරන ලද බව මහා වංශයේ සඳහන් වේ.
ස්ථූප ඉන්දියාවෙන් ප්‍රභවය ලැබූවක් නොවිය හැකි ය. සුමේරියානු වාස්තු විද්‍යාවේ මෙම ස්මාරක විශේෂයට සමාන සිග්ගුරත් නමින් ගොඩනැඟිලි විශේෂයක් වෙයි. චන්චායු යන දෙවියන් වැඳීමට හා මළවුන් ඇදහීමට එය සම්බන්ධ වේ. පිරමිඩ්ස් ද ස්ථූප විශේෂයකි. ක්‍රි.පූ. යුගයට අයත් ස්ථූප රෝමයේ ඉටුය්කන්හි තිබේ. ඒවා බෞද්ධයන්ගේ වෘත්තාකාර ස්ථූපවලට බෙහෙවින් සමාන ය. මේ අනුව සලකන කල්හි ස්ථූපය නමැති ගොඩනැඟිලි වර්ගය අවුරුදු දහස් ගණනක් අතීතයට විහිදී ගිය පෙර අපර දෙදිග ම රටවලට උරුම වූවක් වේ.
ආකෘතිය අනුව ස්ථූප වර්ග
- ධාන්‍යාකාර
- පද්මාකාර
- ඝණ්ඨාකාර
- බුබ්බුලාකාර
- පලාණ්ඩවාකාර
- ඝඨාකාර
- ආමලාකාර
- අණ්ඩාකාර
- චතුරස්‍රාකාර
- සිලින්ඩරාකාර
ධාන්‍යාකාර
වී ගොඩක හැඩය අනුව සැලසුම් කර ඇති ස්ථූප ධාන්‍යාකාර නමින් හැඳින් වේ.
ක්‍රි.පූ. 3 වන සියවසේ දේවානම්පියතිස්ස රජතුමා ථූපාරාමය කරවන ලද්දේ මෙම
ආකෘතියට අනුව ය. පසු ව කරන ලද ප්‍රතිසංස්කරණවල දී වෙනස් වී වර්තමානය වන විට
ඝණ්ඨාකර හැඩය ගෙන තිබේ. කැළණිය, කැබැල්ලෑ ලෙන, පණික්කින්කුලම යන ස්ථානවල
පිහිටි ස්ථූප මේ වර්ගයට අයත් වේ.
පද්මාකාර
සී.ඊ. ගොඩකුඹුරේ මහතා දැදිගම කොටවෙහෙර ධාතු ගර්භයක තිබී ගඩොලින් තනා තිබුණු පද්මාකාර හැඩයෙන් යුත් ස්ථූපයක් සොයා ගෙන තිබේ. මේ හැර පොළොන්නරුවේ දෙමළ මහා සෑය, යුදගනා යන ස්ථූප මේ වර්ගයට අයත් බව පරණවිතාන මහතා පවසයි.
ඝණ්ඨාකාර
ඝණ්ඨාවක හැඩය ඇති ස්ථූප මේ වර්ගයට අයත් ය. ක්‍රි.ව. 8-10 සියවස්වල දී
ලංකාවේ ප්‍රචලිත ව තිබුණු ස්ථූප වර්ගයක් බව පරණවිතාන මහතා පවසයි. මහියංගන
ස්ථූපය මෙම වර්ගයට අයත් බව රෝලන්ඩ් සිල්වා මහතා පවසයි.
බුබ්බුලාකාර
දිය බුබුලක හැඩය ඇති ස්ථූප මේ වර්ගයට අයත් ය. ක්‍රි.පූ. 2 වන සියවසේ දී
දුට්ඨගාමිණී අභය රජු මහා ථූපය (රුවන්වැලි සෑය) කර වූයේ මේ හැඩයෙන් යුක්තව
ය. දැනට රුවන්වැලි සෑය ප්‍රතිසංස්කරණය කර ඇත්තේ ද මෙම ආකෘතියට අනුව ය.
පොළොන්නරුවේ කිරිවෙහෙර, රන්කොත් වෙහෙර මේ ගණයට අයත් ය.
පලාණ්ඩවාකාර
ළූනු ගෙඩියක හැඩය ඇති ස්ථූප මේ වර්ගයට අයත් ය මේ හැඩයේ මැටි ස්ථූප
ලංකාවෙන් සොයා ගෙන තිබේ. නැදිගම්පොල ස්ථූපය මෙම හැඩයෙන් යුක්ත යයි රෝලන්ඩ්
සිල්වා මහතා පවසයි.
ඝඨාකාර
කළයක හැඩය ඇති ස්ථූප මේ වර්ගයට අයත් ය මේ වර්ගයට අයත් කරඬුවක්
තිස්සමහාරාමයෙන් ලැබී තිබේ. කතරගම කිරිවෙහෙර, විල්ලුව අසල ඇති සෝමාවතී
චෛත්‍යය, සිතුල්පව්ව හා මඟුල් මහා වෙහෙර ද මේ වර්ගයට අයත් යයි රෝලන්ඩ්
සිල්වා මහතා පවසයි.
ආමලාකාර
නෙල්ලි ගෙඩියක හැඩය ඇති ස්ථූප මේ වර්ගයට අයත් ය. දෙවන අග්ගබෝධි රජු
ක්‍රි.ව. 604-614 ආම්තල චේතිය නමින් එකල ප්‍රසිද්ධ ව තිබූ ස්ථූපයක ඡත්‍රය
කර වූ බව චූල වංශයේ සඳහන් වේ. දැදිගම කොටාවෙහෙරින් මේ වර්ගයට අයත් ධාතු
කරඬුවක් ලැබී ඇත. ඉන්දියාවේ මෙම වර්ගයට අයත් ස්ථූප ඇත.
අණ්ඩාකාර
බිත්තරයක හැඩය ඇති ස්ථූප මේ වර්ගයට අයත් ය. ඉඳිකටු සෑය වැනි ස්ථූප මේ
වර්ගයට අයත් බව සැලකේ. රුවන්වැලි සෑයෙන් ලැබුණූ කරඬුවක මේ හැඩය ගෙන තිබේ.
චතුරස්‍රාකාර
ගර්භය පමණක් නොව මුළු ගොඩනැඟිල්ල ම යට සිට ඉහළට යන විට ක්‍රමයෙන් කුඩා
වන සේ චතුරස්‍රකාර යෙන් යුත් ස්ථූප මේ ගණයට අයත් වේ. මහායාන බෞද් රටවල ඇති
පැගෝඩා මේ ආකෘතියෙන් යුක්ත ය. 12 වැනි සියවසට අයත් පොළොන්නරුවේ සත්මහල්
ප්‍රාසාදය නමින් හැඳින්වෙන මහල් 7 කින් යුත් ස්ථූපය මෙයට නිදසුන් ය.
අනුරාධපුරයේ නබා වෙහෙර මේ වර්ගයට අයත් තවත් නිදසුනකි. මේ වර්ගයට අයත් තවත්
ස්ථූප දෙකක් අභයගිරි විහාරයෙහි වෙයි. දුටුගැමුණු ස්ථූපය ලෙස හැඳින‍්වෙන
ස්ථූපය ඉන් එකක් වෙයි. එය රත්න ප්‍රාසාදයට නිරිත දෙසින් වෙයි. අනෙක අභයගිරි
විහාරයෙහි බටහිර සීමාවේ ඇති අංක 1 දරණ ආරාමයේ ස්ථූපය යි. ඉහත සඳහන්
පොළොන්නරුවේ සත්මහල් ප්‍රාසාදය කාම්බෝජයේ ප්‍රාසාත් ගොඩනැඟිලි සමඟ සැසඳෙන
බව සී.පී. බෙල් මහතා පවසයි. මේ වර්ගයේ ස්ථූප බෞද්ධයන්ට පමණක් සීමා නොවී ය.
සිලින්ඩරාකාර
මේ වර්ගයේ ස්ථූප ලංකාවේ සුලභ නොවේ. අම්පාර දිස්ත්‍රික්කයේ කුඩුම්බිගල මේ වර්ගයට අයත් බව විමල් විජේරත්න මහතා පවසයි.
එහෙත් වැඩි වශයෙන් ප්‍රචාරයට පත් ව ඇත්තේ ඝණ්ඨාකාර, ආමලාකාර, බුබ්බුලාකාර, ධාන්‍යාකාර, පද්මාකාර, ඝඨාකාර යන වර්ග හය පමණි.
එහෙත් වැඩි වශයෙන් ප්‍රචාරයට පත් ව ඇත්තේ ඝණ්ඨාකාර, ආමලාකාර, බුබ්බුලාකාර, ධාන්‍යාකාර, පද්මාකාර, ඝඨාකාර යන වර්ග හය පමණි.
අනුරාධපුර යුගයේ චෛත්‍යය
රුවන්වැලි සෑය
රුවන්වැලි සෑය දුටුගැමුණු රජතුමා විසින් කරවන ලදී. මෙය මහා ථූපය නමින් ද
හැඳින් වේ. රුවන් වැලි දාගැබ සඳහා වේදිකා දෙකක් තැනූ බව මහා වංශයේ සඳහන්
වේ.ඉන්දියාවේ පැරණි දාගැබ්වල මෙන් ම මුදුන් පේසාව මධ්‍යයෙහි ධාතු ගර්භයක්
පිහිට වූ බව ද මහා වංශයේ සඳහන් වේ. දාගැබේ ප්‍රධාන දිසා හතරට මුහුණලා
මලසුන් ගෙවල් හතරක් හා වාහල්කල 4 ක් ඉදි කර තිබේ. දාගැබේ මුළු උස අඩි 300
කි.
අභයගිර දාගැබ
අභයගිරි දාගැබ වලගම්බා රජු ක්‍රි.පූ. 89-77 කාලයේ දී කරවන ලද බව සදහන්
වේ. මේ ස්ථානයේ කලින් පැවතියේ නිගණ්ඨ ආශ්‍රමයකි. වලගම්බා රජු එය කඩා බිඳ
දමා මේ චෛත්‍යය එතැන කරවීය. අභයගිරියේ ද පැරණි දාගැබක ලක්ෂණ පිළිබිඹු කෙරේ.
මළුවට පිවිසෙන දොරටු 4 ක් තිබේ. පඩි පෙළක්, සඳකඩපහණක්, දොරටුපාල රූප
දෙකක්, මුරගලක් යන චෛත්‍යාගයන්ගෙන් යුක්ත ය.
ජේතවනාරාමය
මහසෙන් රජතුමා විසින් ක්‍රි.ව. 276-303 කාලයේ දී ජෝති වනෝද්‍යානයෙහි
කරවන ලද්දකි. මෙහි පටී ධාතුව නිධන් කරන ලද බව පූජාවලියේ සඳහන් වේ. උස අඩි
231 කි. දොරටු හතරේ කැටයම් සහිත ගල් වැටකි. කැටයම් කළ ගල්කණු හා දොරටුපාල
රූප ද ඇත. මලසුන් ගෙයක තිබී මායා දේවිය දුටු සිහිනය දක්වන කැටයම් පුවරුවක් ද
හමු වී එය දැනට කොළඹ කෞතුකාගාරයේ තැන්පත් කොට ඇත.
මහියංගනය
ශ්‍රී ලංකාවේ ආදි ම ස්ථූපය වශයෙන් වංශ කථාවල සඳහන් වන්නේ මහියංගන
චෛත්‍යය යි. සුමන දෙවියන් විසින් කේශ ධාතු නිධන් කොට නිල්මිණියෙන් සත්
රියන් කොට බඳවන ලද බව සඳහන් වේ. මහියංගනයෙහි වම් අකුධාතුව නිදන් කළ බවට ද
මතයක් පවතී. මෙය දෙවනපෑතිස් රාජ්‍ය සමයේ උද්ධ චූලාභය කුමරු ලවා දෙතිස්
රියන් කොට බඳවන ලද බව ද කියයි.
ගිරිහඬු සෑය
ත්‍රිකුණාමලයට සැතපුම් 29 ක් උතුරින් තිරියාය නම් ගමෙන් සොයා ගෙන තිබෙන
චෛත්‍යය ගිරිහඬු සෑය නම් වේ. තපස්සු භල්ලුක දෙදෙනා විසින් කේශ ධාතු නිදන්
කොට කරවන ලද බව සෙල්ලිපියක සඳහන් වේ.
ථූපාරාමය
ශ්‍රී ලංකාවේ පැරණි ම චෛත්‍යය ථූපාරාමය යයි වංශ කථාවල සඳහන් වේ.
දේවානම්පියතිස්ස රජු විසින් ක්‍රි.පූ. 307-267 කාලයේ දී දකුණු අකු ධාතුව
නිදන් කර ධාන්‍යාකාර හැඩයෙන් නිමවන ලදැයි සඳහන් වේ.
මාගම කැළණි - සේරුවාවිල - තිස්සමහාරාමය
මහානාගයන්ගේ බලය රුහුණේ පැවති සමයෙහි කැළණියේ නා රජු විසින් තැන වූ
කැළණි චෛත්‍යයත්, මාගම රජුන් විසින් කරවන ලද තිස්සමහාරාමයත්, සේරුවිල
චෛත්‍යයත් ප්‍රාදේශීය රජුන් විසින් කරවන ලදී. සේරුවිල චෛත්‍යයේ ලලාට ධාතු
නිදන් කරන ලද බව සඳහන් වේ.
මිරිසවැටිය
අනුරාධපුරයේ මිරිසවැටි සෑය දුටුගැමුණු රජු විසින් ක්‍රි.පූ. 161-137
කාලයේ දී ප්‍රථමයෙන් කරවන ලද බව සඳහන් වේ. මෙය රජතුමාගේ ජය කොන්තය නිදන්
කරන ලද බව සඳහන් වේ. මෙහි දක්නට ලැබෙන වාහල්කඩ පැරණි ම වාහල්කඩ වේ.
දීඝවාපී චෛත්‍යය
මෙම චෛත්‍යය සද්ධාතිස්ස රජු ක්‍රි.පූ.137-119 කාලයේ දී කරවන ලද බව සඳහන් වේ.
සේල චෛත්‍යය
රුවන්වැලි සෑයටත්, ජේතවනාරාමයටත් අතර පිහිටි මෙම සෑය පිළිබඳ ඉතිහාස
පුවත් පැහැදිලි නැත. සද්ධාතිස්ස රජු (ක්‍රි.පූ. 137-119) විසින් කරවන ලද බව
ඇතමෙක් කියති. සද්ධාතිස්ස රජුගේ පුත් ලජ්ජතිස්ස රජු (ක්‍රි.පූ. 119-109)
විසින් කරවන ලදැයි තවත් මතයකි. මෙහි උස අඩි 10 කි. අලංකාර සඳකඩපහණ දෙකක් හා
පෙන හතකින් යුත් දොරටුපාල නාග රූපයන්ගෙන් ද සමන්විත මුරගල් දෙකක් ඇති පඩි
පේළි දෙකක් චෛත්‍යය දෙපස දක්නා ලැබේ.
කණ්ඨක චෛත්‍යය, ඉඳිකටු සෑය, ලංකාරාමය හා අත්තනගල්ල වෙහෙර ද අනුරාධපුර සමයේ ඉදි කරන ලද දාගැබ් වේ.
කණ්ඨක චෛත්‍යය, ඉඳිකටු සෑය, ලංකාරාමය හා අත්තනගල්ල වෙහෙර ද අනුරාධපුර සමයේ ඉදි කරන ලද දාගැබ් වේ.
අන්තර්ජාල උපුටා ගැනීමකි.
0 comments:
Post a Comment