Wednesday, November 6, 2013

දයාබර ලොකු අම්මේ෴

දයාබර ලොකු අම්මේ....


ගහක් ගලක් වගේ හිටපු උඹ සුදු වතින් සරසවලා පෙට්ටියක උඩුකුරුව සයනය කරලා හිටපු හැටි මට අද වගේ මතක් වෙනවා. පන්සලේ කඨින පෙරහැර උඹලගේ ගේ ලඟින් යනකොට භක්තිය වැඩි කමට උඹ හිමිදිරි පාන්දරම කරුවලේ දුවගෙන පාරට යනකොටපය පැටලිලා වැටුන පාර උඹ ආයේ නැගිට්ටෙම නෑ. පිරිසුදු ආසන්න කර්මයකින් උඹ පරලොව ගියේ. 

අපි පොඩි එවුන් සන්දියේ නිදහසක්, ඉසිඹුවක් ලැබුනු හැම වෙලාවකම ඉපනැල්ල පිරුණු වෙල් යායේ මැද මහ නියර දිගේ දුවගෙන යන්නේ මහගෙදර පිටිපස්සේ බිත්තියට හේත්තු කරලා තියන උණ බට පිත්තත් අරගෙන වෙලට දුවන්නේ මම වගේම මහගෙදර දුවගෙන ආපු අපේ ලොකු අප්පච්චිගේ, බාප්පගේ, නැන්දම්මගේ, මාමණ්ඩිගේ ළමයිත් එක්ක එල්ලේ ගහන්න. 

පිත්තත් අරගෙන දුවනකොට කොල්ලෝ මොනවහරි කාලා පලයං කියලා කියන්නේ පුරුද්දට වගේ උනත් හදවතින්ම. අප නැවතුනොත් බතල මඤ්ඤොක්කා කෑල්ලක් හරි, සම්බෝලයක් එක්ක බත් පිඟානක් හරි වැරදුනේ නෑ.

උඹට මොන තරම් වැඩ තිබුනත් පතුරු ගැලවෙන සුදුපාට බෙලෙක් ජෝගුවේ වතුර එකක් එවනවා බෙලෙක් කෝප්පෙකුත් එක්ක. අර කොල්ලෝ අව්වේ දඟලනවා... මේක ගිහින් දීපන්... එතනට එන කාට හරි උඹ කියනවා..

බෝල් ගහලා හැනි හැම්ම වෙලා ආපුවම උයපු මොනවහරි හැමදෙනාටම බෙදලා දෙන එක උඹේ සිරිතක්. කාගේ දරුවා උනත් උඹේ දරුවා හැටියට තමයි උඹ සැලකුවේ. ආදරය, කරුණාව, දයාව, ළෙංගතුකම, පරාර්ථකාමීත්වය, සමානාත්මතාව අපි ඉගෙන ගත්තේ උඹේ ප්‍රායෝගික පාඩම් වලින්.බෝල් ගහන්න ගිහිල්ලා දුවන්න ගිහින් වැටිලා තුවාල උනොත් උඹ දුවගෙන යන්නේ උඹට වෙච්ච කරදරයක් වගේ. මොකදෑ කොල්ලො කර ගත්තේ..? උඹ අහන ප්‍රස්නේ කෝ බලන්න... හප්පේ... පතුරු ගහගෙන.. වට පිට බලලා නිදිකුම්බා ගහක් ගලවාගන තලලා තුවාලෙට තියනවා.  දොස්තරලා චැනල් කෙරුවේ නැතිවට ප්‍රයිවෙට් සාප්පුවට දිව්වේ නැතිවට කවදාවත් ආයේ ඒ තුවාලේ පැසෙව්වේ නෑ. මං හිතන්නේ උඹේ අත් දෙකේ මොණර කොල තැවරිලා අපවිත්‍ර වෙලා නැති නිසා වෙන්න ඇති ඒ අත්ගුණය.

අනේ ලොකු අම්මේ .... උඹට මොකද මේ උනේ. උඹ නිසලව පපුවට තියාගෙන තද කරගෙන හිටපු උඹේ අත් දෙකෙන් මොන තරම්නම් අපි වෙනුවෙන් බත් තම්බලා ඇත්ද? උඹට ඉන්නේ එක දරුවයි.ඒත් වේලකට දහයකට, පහලොවකටබත් තැම්බුවේ මොන තරම් නම් ළෙංගතුකමකින්ද? උඹ වෙනුවෙන් උඹේ දුව කඳුලක් හෙලුවේ නැතත් ඇවිත් හිටපු හුඟ දෙනෙකුගේ කඳුලු ගංඟාවක් උඹේ දෙන සහිත පෙට්ටිය අපේ කර පිටින් කනත්තට අරගෙන ගියා.

අතීතය, වර්ථමානය, අනාගතය හීනයක් වගේ. අපි බොහොම බක්තියෙන් උඹේ හත් දවසෙ දානෙට ආවෙ. උඹේ දුව පොඩි මැණිකා.... (දැන් ඒතිගෙ නම වෙනස් කරගෙනනේ..) උඩටත් නැති, යටටත් නැති විලිසංගේ නැති ඇඳුමක් ඇඳගෙන සක බඹරයක් වගේ එහාට මෙහාට කැරකුනේ. අනේ අප්පච්චියේ.. මේ අඹේම දුවද? මේකිට නෑදෑකමුත් අමතක වෙලා එක පාරක් මට අංකල් කියාපි. එක අතකට රටක් වටින උඹ තනි කරලා කොළඹ රටේ ගිහින් හිටපු එකී මට අංකල් කීවාම මොකෝ?

 ගමේ දානයක් පිංකමක් වුනාම උඹ, උඹේ අත් දෙකෙන් මොන තරම්නම් උයලා පිහලා ඇත්ද? උඹ කඩියෙක් වගේ එහාට මෙහාට කැරකුනේ මොන තරම් වැදගත් ‍දේටද? එදා දානේ උයවාගෙන තියෙන්නෙත් කේටරින් සර්විස් එකකට දීලා. ගමේ උදවිය එකතුවෙලා දානේ ටිකයි එන අයට කෑම ටිකයි උයන්න හදනකොට කිලීන් මදි කීවා කියලා පහළ ගෙදර නැන්දා කීවේ කම්මුලට අතක් තියාගෙන. උඹට තිබුනු ගෞරවේ නිසා ඔහේ හිටියා මිසක් උඹට පිං පමුණුවලා මම පිටත් උනේ කොටියක් වටින උඹේ වහලෙ යට ඉඳගෙන කොටරින් සර්විස් එකේ බත් කන්න මට හිත දුන්නෙම නැති හින්දා. එන්ඩ පිටත් වෙලා බීපු වතුර උගුරත් හරියට උගුරෙන් පහලට වැටුණේ නෑ ලොකු අම්මේ.

යුග පුරුෂයෙක් වගේ හිටපු උඹ නිවන් දකිනවා ඒක සිකුරුයි. බුදුහාමුදුරුවෝ දේශනා කරපු අභි ධර්මේ සරල කරලා ප්‍රායෝගිකව උඹ අපට කියලා දුන්නා. උඹත් ඒවා පිලි පැද්දා. අප අදටත් ඒවා අදහනවා. මම දන්නවා . මේ ලියුම උඹට බලන්න බැරි බව. ඒ නිසාමයි මම මේක ලීවෙත්. උඹට බැරි උනාට මේක කවුරුහරි දකින්න ඕනෙ. එක අතකට ඊලඟ පරම්පරාවේ කෝලං දකින්නේ නැතිව උඹ මැරුණ එක හොඳා. ඒත් මට දුක උඹ ලඟ තිබුනු මහා ගුණ කන්දරාව ඊළඟ පරම්පරාවට නොගිහින් උඹත් එක්කම එදා වැළලුන එක ගැන. 

මට මතකයි දවසක් පුංචි කාලෙ විභාගෙට යන්න උඹඨ වඳිනකොට  උඹ උපදිසාපති කෙනෙක් වෙයන් මගෙ පුතේ කීවා. උඹේ ආශිර්වාදය ලබාගෙන මම අද එහෙම කෙනෙක් වෙලා ඉන්නවා. මගේ යාළු කොළඹින් ආපු උප දිසාපත් කෙනෙක් දවසක් මගුල් ගෙදරකදි කීවා පුංචි කාලේ කන්ඩ නැති හින්දා කෑවෙ නෑ... දැන් ලෙඩ හින්දා කන්ඩ තිබුනත් කන්ඩ හොඳ නෑ කියලා.. මේ ටික උඹට ලීවෙ වෙන මොකටවත් නෙමෙයි. උඹලා අපට පුංචි කාලෙ වස කැව්වෙ නැති හන්දා අදත් ලෙඩක් දුකක් නැතිව ජීවත් වෙනවා.෴

උඹට නිවන් සැපම ලැබේවා..!!!

මම පාරෙ ගෙද පුංචි එකා..
 ටී.එම්.ජී.තෙන්නකෝන්.
 සහකාර ලේකම් වයඹ ප්‍රධාන අමාත්‍යංශය
 උපුටා ගැනීම: ලංකාදීප රසවිත අතිරේකය

1 comment:

  1. මාර කථාවක් මචෝ..
    උඹේ සයිට නම් පට්ට...
    අපි හැමදාම කියවනව..
    අපේ අම්මත් සුභ පැතුම් එක් කරා හො‍ෙඳේ..

    ReplyDelete