Wednesday, January 15, 2014

M – Blocks රොබෝ පෙට්ටිය




ඇමෙරිකාවේ මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනයේ (MIT) විද්‍යායින් විසින් මෙම රොබෝව නිපදවා ඇත. හරි හතරැස් කුට්ටියක් හෙවත් ඝණකයක් සේ පෙනෙන නමුත් ඕනෑම උපාංගයක් තනා ගැනීමේ ඒකකයක් සේ යොදා ගත හැකි අමුතු රෝ‍බෝවක් දැන් නිපදවා ඇත.
            මෙම රොබෝ කියුබ සිය ගණනක් තිබෙන විට ඒවා එකිනෙකාට හදුනා ගන්න ඉතාමත් පහසුය. එසේම මෙම M-blocks රොබෝවට යම් විධාන සමුහයක් අනුගමනය කරන්නටත් හැකිය. ඒ අනුව හදිසියේම වුවත් පුටුවක්, ඉනිමගක්, මේසයක් වැනි උපාංගයක් බවට සංවිධානය විය හැක. තවද මෙම රොබෝව යාන්ත්‍රික අතක් හෝ යාන්ත්‍රික කොටසක් හෝ ලෙස සැලකිය හැක. මෙමගින් මිනිසුන්ට ලඟා විය නොහැකි තැන්වලට ගොස්, මිනිසුන්ට කළ නොහැකි වැඞ කරන්නට හැකිවේ.
            M-Blocks රොබෝවට රෝද හෝ ගමන් කිරීමට උදව්වෙන වෙනත් විශේෂ උපාංග නැත. ඒ වෙනුවට මෙම රොබෝ භාවිතා කරන්නේ Fly Wheel නමැති ජව රෝදයයි. විනාඩියකට 20000ක් කැරකැවෙන මෙම ජව රෝද කියුබය තුළ සවිකර ඇත. බැටරියෙන් කැරකැවෙන ජවරෝද එක්වරම නැවතේ. එම වේගයත් සමග නැවතීම නිසා ඇතිවන්නා වු බලය හෙවත් ගම්‍යතාව, කියුබයේ බාහිර ආවරණයට ලැබේ. එම බලයත් සමග කියුබයට හෙල්ලෙන්නට, පනින්නට, පොලා පනින්නට හෝ අනෙක් කියුබ සමග එක්ව යම් ව්‍යුහයක් තනා ගන්නට හැකිය. මේ ක්‍රියාවලීන් සදහා කියුබයේ වක්‍රාකාරව සකසා ඇති දාර උදව් වේ.
            M-Blocks රොබෝවල සෑම මුහුණතකම කාන්දම් කැබලි හෙවත් ස්ථීර චුම්බක සවි කොට තිබේ. ඒ නිසා, එක් කියුබයක් තවත් කියුබයකට කිට්ටු වු විට එකිනෙකට ආකර්ශණය වී කියුබ දෙක එකිනෙකට සම්බන්ධ වේ. සෑම මුහුණතකම පමණක් නොව කියුබයේ කොන්වල ද සිලින්ඩරාකාර චුම්බක සවිකොට තිබේ.
කියුබ දෙකක් එකිනෙකට ලංවූ විට මෙම සිලින්ඩරාකාර චුම්බක දෙක කැරකැවේ. එවිට උත්තර ධ්‍රැවය පිහිටන පරිදි සැකසේ. එවිට මෙම ධ්‍රැව දෙක එකිනෙකට ආකර්ශණය වේ. කියුබ දෙක වෙන් කිරීමට මෙම සිලින්ඩරාකාර චුම්බක එම ක්‍රියාව ප්‍රතිවර්තනය කරයි
M-Blocks රොබෝව සකසා ඇත්තේ පරිඝණක උපාංග එකතු කරමිනි. එනම් මෙම කියුබයට Processor එකක් එකතු කර ඇත.
පරිඝණක උපදෙස් මගින් ක්‍රියාකරන මෙම රොබෝවට රැහැන් රහිත පණිවිඩ හුවමාරු කර ගැනීමේ හැකියාව ද ඇත. එනිසා මෙවැනි කියුබ සිය දහස් ගණනක් අතරින් පැටලීමකින් තොරව තමාට අයත් රාජකාරියේ යෙදිය හැකිය.
එසේම මේ කියුබවලට විශේෂිත වැඩ පවරන්නට හැකිය. කැමරා ඇති කියුබ, සංවේදක ඇති කියුබ, තොරතුරු රැස් කරන කියුබ, තොරතුරු විකාශණය කරන කියුබ යනාදි වශයෙනි. එනම් කියුබවල ශ්‍රම විභාජනය කිරීමට හැකිය. 


0 comments:

Post a Comment