Wednesday, August 14, 2013

පවුරු (11 වන කොටස)



සර්.. ප්‍රභාත් සර් කොල් කරා... සර්ට ගන්න බෑ කියල ඉක්මනට ම සර්ට කෝල් එකක් ගන්න කියන්න කීව...

ඒ ඇයි හදිසියෙම... (මට තවමත් කිසිඳු දෙයක් හරි හැටි වටහා ගත නොහැකිව සිටියෙමි)

සර් ඔෆිස් එකේ ලොකු කරදරයක් වෙලා...(හතර දෙනාගෙන් එකෙකු එසේ කීවේ මගේ කුතුහලය තවත් වැඩි කරමින්...)

ඇයි මොකද වෙලා තියෙන්නෙ... රුවන්... සිදුද වෙලා තියෙන්නෙ මොකක්ද දැන්.. (මම ටිකක් කේන්තියෙනුත් එක්ක ඇහුවෙ තවත් කුතුහලය ඇවිසෙයි කියන බයටමයි.)
එවිට රුවන් කථා කරන්න උනා..

සර්... අපේ ඔෆිස් එකේ ඇඩිමින් මහේෂි මිස්...

ඔව්.. ඉතින්...

සර්... අද උදේ එයා....

කියන්න රුවන්.. මොකද වෙලා තියෙන්නෙ... ම්... ඇඩ්මින් මිස්ට මොකද?

සර්... අද උදේ එයා කොළඹ කෝච්චියට පැනලලු සර්...

මොනවා.......

මා කරකවා අතහැරියාක් සමන් විය.. මා කිසිම දිනක මෙවන් දෙයක් අසන්නට හීනෙකින්වත් නොපැතුවෙමි... මට මගෙ හංසි නැතුවුන වෙලාවෙහි දැනුන වේදනාව තරම් නොවුද, මගෙ සිත දැඩි කම්පනයකින් පිරී ගියහ...

මො... මොකද වෙලා තියෙන්නෙ.. දැන් එයා හොස්පි‍ට්ල් ද?

නෑ සර්... උදේ 10.20 කෝච්චියට පැනල තියෙන්නෙ.. අඩි 20ක් විතර උඩින් විසිවෙලාලු වැටිල තියෙන්නෙ බොඩි එක.. අත් කකුල් කුඩු වෙලාලු සර්... එතනම නැතිවෙලා...

අපොයි දෙයියනේ... මේ මොන විනාසයක්ද? ජීවිතේ ජීවත් කරවපු ආදරය නැතිවෙලා ගතවූ කෙටි කාලය ඇතුලත තවත් එවැනිම වයසේ සහෘර්දියකගේ අවසානයක්... ඈ මේ ලෝකෙට කරපු වරද මොකක්ද? ඇයි මෙහෙම මිනිස් ජීවිත විනාස කර ගන්නෙ.. අවිහිංසක අසරණ කර දරා ගන්නට නොහැකිව, දුෂ්කර ගම්මාන‍යකින් නගරෙට ආවෙ මෙලෙස මියැදෙන්නටද? කුස ගින්න නිවන්නට අහරක් ‍සොයන්නට රැකියාවට ආපු මහේෂි අන්තිමට මේ උරුම කර ගත්තේ කුමක්ද?

රුවන්.. මට ප්‍රභාත් සර්ට කෝල් එකක් අරන් දෙන්න ඉක්මනට..

සොරි සර්.. මගෙ ෆෝන් එකේ සල්ලි නෑනෙ... තිබුනු සල්ලි වලට ඔෆිස් එකේ ළමයින්ට කථා කරා... එයාලගෙන් තමා විස්තර දැන ගත්තෙ සර්... දැන් අපි මොකද කරන්නෙ සර්...

දැන් කෝ අනිත් දෙන්න..?

ඒ දෙන්න සෙල්ල කතරගම ගියා සර්... උදේ සර්ට කීව නේද? දැන් මග එනව ඇති. මන් එයාලටත් කෝල් කරා සර්..

රුවන් මොනතරම් නම් කඩිසර, කල්පනාවෙන් වැඩ කරන කෙනෙක් දැයි මට එවෙලෙහි තේරුම් යමින් තිබිනි.

රුවන්... යමු පන්සල.. අපි කෝල් එකක් දාලම බලමු.. ම්..

මම පන්සලට ඇවිත් ප්‍රභාට කථා කොට විස්තර දැන ගතිමි... කතාවෙන්ම ප්‍රභා සිටින්නේ බෙහෙවින් අවුල් වූ මානසිකත්වයකින් බව මට හොඳින්ම තේරුම් ගියා.. රුවන්...

ඔයාල දැන්ම කොළඹ බස් එකකට නැගල ඔෆිස් එකට යන්න... හාමුදුරුවො අද කොළඹ ගියා.. මන් හාමුදුරුවොත් එක්ක කථා කරල මෙහෙ පිලිවෙලක් කරල ඉක්මනටම එන්නම්... අපි ඒ වැඩ කටයුතු ඉවර වෙලා ආපහු එමු.. බඩු ටික කාමරේට දාල ලොක් කරල යතුර මට දීල යන්න.. එහෙ අපෙන් වෙන්න මුකුත් තියනවනම් අපි මහේෂි වෙනුවෙන් ඒ දේවල් කරන්න ඕනෙ.. අපේ ඔෆිස් එකේ වැඩ කරපු ළමයනෙ.. ම්... ගිහින් මට විස්තර කියල කෝල් කරන්න.. .කේ...



අවසරයි අපෙ හාමුදුරුවනේ.. මම ජනිත්... පන්සල් නැවතිලා ඉන්නෙ..

ඔව් දරුවො. මොකද හිත කලබලෙන් වගේ..

අපෙ හාමුදුරුවො කොහෙද ඉන්නෙ දැන්..

දරුවො අපි මේ දවල් දානෙත් අරගෙන දැන් එන්න ලෑස්තිය..

අපෙ හාමුදුරුවනේ.. ඔෆිස් එකේ ලොකු කරදරයක් වෙලා... මට මේ මොකද කරන්නෙ කියල හිතා ගන්න බැරිව ඉන්නෙ..

ඇයි දරුවො... මොකද වෙලා තියෙන්නෙ...

හාමුදුරුවනේ... ඔබ වහන්සෙට මතකද ඔෆිස් එකේ මහේෂි කියල ගෑණු ළමයෙක් ගැන දවසක් මම කීව..

ඔව් ඔව්.. මට මතකයි... ඉතින්...

ඒ ළමය මේ දැන් ටිකකට කලින් කෝච්චියට පැනලලු..

අප්පච්චියේ... මන් එදාම කීව නේද ඔය දරුවට ඕක කෙලවෙර වෙන්නෙ ඔය වගේ දේකින් කියල..

ඔව් හාමුදුරුවනේ... තව දෙයක්.. මම උදේ භාවනා කර කර හිටියෙ... ඔය කියන වෙලාවටම වගේ මම දැක්ක මහා ලේ ගොඩක් මැද කෙඳිරි ගාන කාගෙදෝ රූපයක්... එකපාරටම පෙනිල නොපෙනිල ගියා...

හ්ම්... ඒකනම් ටිකක් බරපතල කාරණයක්...  ඒ කියන්නෙ සිදුවීම වෙන බව ඔය දරුවගෙ මනසට පෙනිල තියනව.. භාවනාව ගොඩාක් සාර්ථකව කරල තියන නිසයි එහෙම වෙලා තියෙන්නෙ.. ඒ ගැන කලබල වෙන්න එපා... දැන් ඔය දරුවට ඕනෙම දෙයක් ඉවසා දරා ගන්න පුලුවන් තරමට භාවනාවෙන් මනස වැඩිලයි තියෙන්නෙ.. ම්..

එහෙමයි..

දැන් ඔය දරුව ඔෆිස් එකට යන්න... ඒ වැඩකටයුතු ටික අහවර කරල එන්නකො හෙමීට... ආවම අපි කථා කරමු.. පන්සලේ යතුරු ටික පහල ටිකිරිබණ්ඩ මහත්තයගෙ කඩෙන් තියල යන්න.. ඔය දරුවන්ගෙ බඩු මුට්ටු ටික අරන් යන්නෙ නැත්නම් කාමරේකට දාල ලොක් කරල ඒ කාමරේ යතුර ඔය දරුව අරන් යන්න... ම්...

රුවන්ලට යන්න කීවට මොකද මම පාරට යන් විටද රුවන් ඇතුළු හය දෙනාම පාරෙහි බස් රථයක් එන තුරු රැඳී සිටි නිසා මටද ඔවුනු සමගම ගාල්ල බලා යෑමට හැකි විය..

ඔෆිස් එකට යන විටද වැඩ කරන ළමයි සියල්ලන්ම පාහේ ඔෆිස් එකට වී බියෙන් සලිත වී සිටියහ...

පුතා... කෝ ප්‍රභා සර්..

සර්... ප්‍රභා සර් හොස්පිට්ල් එකට ගියා... අදම බොඩි එක ගන්න පුලුවන්ද බලන්න...

රුවන්.. එන්නකො.. අපි දෙන්නත් හොස්පිට්ල් පැත්තට ගිහින් එමු...

අපි එහි යන විටද, මෝචරිය අසල විශාල සෙනගක් රැස්ව සිටියහ.. පත්තර වලින්, රූපවාහිනී නාලිකාවල කැමරා හසුරුවන්නන් ගෙන් මුළු කොරිඩෝවම පිරී තිබිනි..

දම් පැහැ ගැන්වෙමින් අවරට යමින් තිබුනු හිරු කළුවරට අත වනන්නට වූයේ මුළු පරිසරයටම මහා මූසල පෙනුමක් එක් කරමිනි... මුළු රටටම ආලෝකයක් වන්නට පුංචි වන ලැහැබක පිපුනු සුන්දර සේපාලිකා මල, කාටත් හොරා හොර රහසේම මෙසේ පරව යන්නට හේතුව තවමත් විසඳී නැති වග, අවට සිටින්නවුන්ගේ කථා බහෙන් මට පසක් විය..

අපි මෝචරියට ගිහින්ම බලමු රුවන්..

සර්..ඇතුලට යන්න දෙන්නෙ නෑ..

ඔයා එන්නකො...(මම ඉදිරියටම ගියේ සාක්කුවෙන් ඇදගත් මුදල් පසුම්බියේ වූ විශේෂ හැඳුනුම්පතක්ද අතැතිවය..)

සර්.. කරුණාකරල පස්සට වෙන්න. ඇතුලට යන්න දෙන්න බෑ..(ආරක්ෂක අංශයේ නිළධාරියෙක් මගේ උරහිසින් තල්ලු කරමින් කීවේ මා මදකට කේන්ති ගස්සමිනි.. රුවන් දෙස බැලූ මට පෙනුනේ අසරන දෑස් වලින් ඔහුත් මාදෙස බලා සිටිනා වගය.)

අයිසෙ.. ගන්නව අත අහකට.. අපි කව්රු කියලද හිතන් ඉන්නෙ..? ම්...

මාදිගු කල හැදුනුම්පත ඕනෑකමින් අතට ගෙන පරීක්ෂා කළ ආරක්ෂක අංශ නිළධාරියාගේ උද්දච්ච පෙනුම පහව යනු මා බලා සිටියේ කේන්තිය මුසු ආඩම්බරයකිනි..

සොරි සර්.. සර්ල යන්න.. (සීරුවෙන් සිට ගනිමින් මා හට ගෞරව කල ඔහු මටත් රුවන්ටත් මෝචරිය තුලට යන්න‍ට අවසර ලබා දුනි..)

සර් නම් මාරයි සර්.. මොකක්ද ඒ හැදුනුම්පත...

මන් ආමි කෝස් එකක් කලා ඒ කාලෙ.. ඒකෙ හැඳුනුම්පත.. මේකෙන් මට ඕනෙම තැනක යන්න අවසර තියනව..

ෂ මාරයිනෙ..

අපි දෙදෙනාම ලේ පැල්ලම් සහිත සුදු රෙදි කඩකින් වසා තිබූ දේහය අසලට පැමිනියෙමි... සිත දැඩි කරගෙන රෙදි කඩ ඉවත් කලේ මහත් අපහසුවකිනි..

අපොයි දෙයියනේ.... (රුවන් මගේ කටින් පිටවූ වචනත් සමගම ඒදෙස බලා ගන්නට නොහැකිව ඉවත බලා ගනු මට පෙනුනි...)

සත්තකින්ම මගේ දෑසට කඳුලක් ඉනුවේ ඒ දයාබරියගේ වියෝවේ දුකට මිස අන් කිසිවකට නොවේ...

දෑත් පොඩි පට්ටම් වී තිබිනි.. ඒ සුන්දර මූණ පුරා පිපිරුම් තුවාල මහා ගොඩකි.. නාසයෙන් ගලා ගිය ලේ පහරක පැල්ලම එහෙමම වියලී තිබිනි... අවුල් වී ගිය කෙස් අතරින් ඔළුවෙහි ඇතැම් තැන් දරුණු ලෙස තුවාල වී තිබූ බවට සාක්ෂි පෙනෙන්නට තිබිනි..බෙල්ලෙන් පහල ඇඳුම සම්පූර්ණයෙන්ම ලෙයින් තෙත්වී වියැලී තිබිනි.. ඒ අවිහිංසක අසරණ දෑස් සදහටම පියා ගෙන ඇත්තේ නිකම්ම නොවන වග පමනක් මා සිතේ ලැගුම් ගෙන තිබිනි..

අප මෝචරියෙන් එලියට ආවේ දරා ගත නොහැකි තරම් දුකක් සිතේ පුරවාගෙනය.. කොරිඩෝවේ කෙලවරක ප්‍රභා වාඩි වී දෑස් පියාගෙන මහා කල්පනාවක සිටයහ..

මචන් ප්‍රභා.. මොකද උනේ බන්...

ප්‍රභා කලබලයෙන් නැගිට මාව බදාගෙන මද වෙලාවක් එහෙමම සිටයහ..

ඇයි මචන්.. මොකද බන් මේ උනේ..

මටත් හිතා ගන්න බෑ බන් කිසි දෙයක්.. ගෙදර ප්‍රශ්නයක් වෙන්නඇති..

ප්‍රභාගේ දෑස් රතුවී තිබිනි.. අරක්කු දුඟඳක් ඔහු අසලින් වහනය විය.. ප්‍රභා නොකියන කුමක්දෝ දෙයක් ඔහුගේ දෑසෙහි හොර රහසේම සටහන් වී තිබිනි.. ඒ කිමෙක්දැයි තේරුම් ගැනීමට තරම් මගේ ආධ්‍යාත්මය දියුනු නොවන බව මම දනිමි..

මා නැවත ප්‍රභා හා රුවන් සමග කාර්යාලයම පැමිනියෙමි..

මලගෙදර වැඩ කටයුතු සියල්ල අවසන් විය... මුලු වලස්මුල්ල ගම්මානයම උලමන්ගේ හඬින් දෝංකාර දෙන පාළු සැඳෑවක මහේෂි නම් සොඳුරු මුවැත්තිය සදහටම මහ පොරව තුරුලෙහි සැතපෙන්නට විය..

දින කීපයක් ඔහේ කාලය ගෙවී ගියහ.. බොහෝ සේ වෙහෙස වෙමින් සියල්ලන්ම මල ගෙදර වැඩ කටයුතු වඩාත් හොඳින් කිර ගැනීමට සහය විය..
 ආපසු ඔෆිස් එකේ වැඩ පටන් ගත්හ..

සර්... මහේෂි මිස් එදා උදේ කීව මට කෝල් කරල සර්ගෙ ඩයරියෙ සර්ගෙ ඩොකියුමන් වගයක් දැම්ම කියල. මට එදා ඒක කියන්න අමතක උනා සර්.. සොරි..

වැඩ කරණ ගෑනු ළමයි දෙන්නගෙන් එකියක එසේ කීවේ මහේෂිගේ අවසන් කටයුතු සිදුවීත් දින දෙකකට පසුවය...

මා එසැනින් කාමරයේ වූ මගේ පොත් අතර තිබූ ඩයරිය පරීක්ෂා කලේ මහත් කුතුහලයෙනි..

වැදගත් යැයි හැගෙන ලිපිගොනු කිසිවක් එහි අලුතෙන් දමා නොතිබින්... ඩයරිය වසා දමන්නට යත්ම, සුදුපැහැති හතරට පහට නැමූ කඩදාසිටක් ඩයරි කවරයේ තිබී බිම වැටිනි..

කඩදාසිය දිග හරිත්ම ඒ මහේෂිගේ අත් අකුරු බව මට හඳුනාගත හැකි විය..

ඇය මෙසේ සටහන් කර තිබිනි.. මා ලිපිය කියවන්නට වීමි...

තවත් කොටසක් බලාපොරොත්තු වන්න...
මෙය සත්‍ය කථාවක් වන අතර මෙම කථාවේ සියළුම හිමිකම් FreeGetLanka සතු වේ.
අනවසරයේ මෙහි කිසිවක් උපුටා ගැනීම සපුරා තහනම් වේ.
ඔබගේ අදහස් පහලින් ලියන්න..
අපගේ සාර්ථකත්වය ඔබගේ අදහස් මත රැඳී පවතී..
මෙතෙක් අප සමග රැඳී සිටියාට ස්තූතියි.. රැඳී සිටින්න.. ඉදිරියටත් අප සමග...

4 comments:

  1. raviyo...
    lost eka thiyala 10 kotasen neweththuwe me tharam loku deyak kiyanda kiyala man hithuwe ne ban.
    uba me liyana kata hitata wadinawa machan.. ela.

    ReplyDelete
  2. මචෝ ඇත්තටම පට්ට බං.ඒත් මේ විදියට හොදම තැන් වලින් නවත්තනකොට කුතුහලය වැඩියි බං.කමක් නැහැ ඉවසන දනා රුපු යුදයට ජයකොඩියනෙ රවියෝ.............

    ReplyDelete
  3. පව්... මහේෂි.

    ReplyDelete

  4. ස්තූතියි හැමෝටම..
    ඔන්න කස්ටියටම බලන්න ඉතිරි කොටස් දැම්ම..
    පහලින් කියවන්න.
    ඉතිරි සියළුම කොටස් කියවීමට මෙතැනට යන්න..
    ඉතිරි කොටස් සියල්ලම

    ReplyDelete