Monday, August 12, 2013

පවුරු ( 10 වන කොටස)

සර් ලොකු කරදරයක් වෙලා... සර් ට අපි කෝල් ගත්ත. ෆෝන් එක වැඩ නෑ.. පස්සෙ දුවගෙනම ආව පයින්ම...


අවසරයි අපෙ හාමුදුරුවනේ...මේ මම ඔබ වහන්සෙට කියපු යාළුව.. මමත් එක්ක එකට වැඩ කලේ සුපර් මාකට් කේ ඉන්න කාලෙ...

හේමන්ත මාව හඳුන්වල දෙත්ම මම දන නමස්කාර කර උන් වහන්සේගෙන් ආශිර්වාද ලබා ගත්ත. මේ දරුවො කොහෙ ඉඳන් ද මේ එන්නෙ..

අපි ගාල්ලෙ ඉඳන් අපෙ හාමුදුරුවනේ...

ම් ම්... සෑහෙන දුරක්... මහන්සිත් ඇතිනෙවැ... හේමන්ත.. මේ දරුවන්ට ඔය තියන දෙයක් බලල කන්න කාරිය දීල, උඩ තියන ‍කාමර දෙක ඇරල අතුගාල දෙන්න..

ඔය දරුවො තියන දෙයක් කාල ටිකක් ගමන් වෙහෙස නිවා ගන්න... අපි හවස් අතේ කතාබහ කරමු... මු...

අවසරයි අපෙ හාමුදුරුවනේ..

නැවතත් මා උන් වහන්සෙගේ දෙපා නැමැද ආශිර්වාද ලබා ගත්ත...

ගොඩක් හොඳ හාමුදුරු නමක් මචන්... මටනම් මාර විදියට හිතට වැදුන.. (මම හේමන්තට කීවෙ අවංකවම)

ඔව් මචන්... පුදුම හොඳයි... මේ පළාතෙ මිනිස්සුත් පුදුම ආදරෙයි උන් වහන්සෙට.. ඔහෙම හිටියට පට්ට වැඩකාරයෙක් මචන්...

මොකක්ද බන් ඒ පට්ට වැඩේ.. (මම ඒක ඇහුවෙ ටිකක් හිනාවෙලා..)

මචාන්... උඔ හිතන්නෙවත් නැතිවෙයි.. අංක විද්‍යා, ජෝතිශ්‍ය, යන්ත්‍ර මන්ත්‍ර, සිංහල වෙදකම්.... ඔය හැමදේම හොඳට දන්නව මචන් ඔහොම හිටියට.. වෙලාවකට මට හිතෙනව ද්‍යාන ලාභී ස්වාමීන්වහන්සේ නමක්ද කියලත්.. මූන දිහා බලාගෙන හිතේ තියන දේ කියනව බන් වෙලාවකට..

හේමන්තගෙ ඒ වචන ටිකනම් මට ටිකක් අමුතු හැඟීමක් ගෙනාව.. ඇත්තටම අඳුනගන්න වටින හාමුදුරු නමක්..(මට හිතුනෙ එහෙම)

අපට උදේ ආහාරය පන්සලෙන් හම්බ වුනා... ටිකක් ප්‍රමාණයෙන් විශාල කාමර දෙකක් හේමන්ත සූදානම් කරල දුන්න.. කොල්ලො තුන්දෙනා බැගින් කාමර දෙක බෙදල දීල, මම එක කාමරයකට ගියා..

මචන් ජනා.. වරෙන් මගෙ රූම් එකට.. මමත් තනියම බන්... කයියක්වත් දාගෙන හිටියැකිනි සතියක්..හේමන්තගෙ ඉල්ලීම පිළිගෙන මම හේමන්තගෙ කාමරේට ගියා..

පුංචි ටී වී එකක්, රේඩියෝවක්, නවකථා පොත් කීපයක්, මේසෙ උඩ තිබුන..

ජනා.. මේ තමයි මගේ රජ දහන... ඔබගේ වාසයට සුදුසුවේවිද මන්ද?(හේමන්ත ගැඹුරු හඬින් කීවෙ මාව සිනා ගස්සමින්..)

සුදුසුයි සුදුසුයි... හිතුවටත් වඩා හොඳයි... දැන් කොල්ල පිලිවෙලයි ඈ...

අපි එහෙමයි... දන්නැත්ද මචන්... හාමුදුරුවො බනිනව අස් පස් නොකර තිබුනොත්.. දැන් මට පුරුදු වෙලා..

හේමන්තයි මායි පැය භාගයක් පමන කථා කර කර ඉන්න ඇති.. රුවන් අපව හොයාගෙන ආව..

සර්... අපි ‍ෆීල්ඩ් එකට යනව... කට්ටිය සර් ග්රූප් කරනවද?
(මට පුදුම හිතුන... මේ ආපු ගමන්ම.. මේ ළමයි මනුස්සයොද, මැෂින්ද? )

රුවන්... මහන්සි නැද්ද...

මහන්සියි තමා සර්.. එත් ගෝල් එකට වැඩ කරන්න එපැයි.. නැත්තන් ප්‍රභාත් සර් ගෙන් විසුමක් වෙන්නෙ නෑ...  අනික සර්ටත් ඒක හොඳ නෑ සර්..

මුන් ටික මං ගැන ගොඩක් හිතනව කියල මට තේරුන අවස්ථා ගොඩක් තිබුන... මගේ උපදෙස් මත දෙදෙනා බැගින් එදින කතරගම පුදබිමේ භාන්ඩ අලෙවිය සඳහා පිරිස පිටත් උනා...

මචන්... පව් බන් මේ කොල්ලො.. සමාජෙ මෙහෙම බඩු උස්සගෙන ටයි කෝට් දාගෙන ලැජ්ජ නැතිව කොහොම යනවද මන්ද ජනා....

ලැජ්ජාව, බය ඔය හැමදේම මේ මාකටින් වලදි අයින් කරනව බන්.. උන් ඉන්නෙ හීන ලෝක වල.. තට්ට මිනිහෙකුට පනාවක් උනත් විකුණන්න පුලුවන් තත්වෙට උන්ගෙ මනස හදනව බන්.. පව් තමා.. අසරණ අහිංසක කොල්ලො..

අනේ මන්ද මචන්... මේ ඉතින් කියහන්කො... දැන් ග්ර්ල් කෙනෙක් නැද්ද මචන්...

නෑ හේමන්ත... මට හිත හදාගන්න බෑ මචන්... මට සිද්දවෙච්ච හැමදේම හීනයක් වගේ බන්... ඒක නෙ‍වේ... උඹ නම් ඉස්සර වගේම හොඳට ඩ්‍රිංක් එක දානව ඇති නේ... මෙහෙ ඉතින් හොයන්න කෙනෙකුත් නෑනෙ? ෆුල් ෆී එකේ නෙ කොල්ල...

අඩෝ නෑ බං.. මම දැන් ඩ්‍රිංක් දාන්නෙ නෑ මචන්... මේ හාමුදුරුවො තමයි මාව මනුස්සයෙක් කලේ..

හ්ම්... පුදුමයි මචන්.. ඒ වගේම සතුටුයි උඹ හැදුන එකට..

ඒත් උඹනම් ඩ්‍රින්ක් දානව වගේ.. ඇස් දෙකෙන් කීවෙ... මම හරි නේ...?

හ්ම්...

මචන් සිද්ද වෙච්ච දේවල් දුකයි තමයි... ඒත් ඒකට බීල හරියන්නෙ නෑ මචන්...
හේමන්ත කීවෙ ඇත්ත.. ඒත්.. මම කිසිම දෙයක් තේරුම් බේරුම් කරගන්න තරම් උවමනාවකින් නෙමේ හිටියෙ.. ජීවත් වෙනවට ජීවත් උනා විතරයි...

මචන් ජනා... උඹේ ෆෝන්  එක රින්වෙනව නේද?හේමන්ත කියපුවමයි දැනුනෙ සාක්කුවෙ තිබුනු දුරකථනය නාද වෙන වග..

ආහ් ඹෆිස් එකෙන්...
හෙලෝ....

සර්... මම මහේෂ්... (අනෙක් පසින් ගලාගෙන ආවෙ ඇඩ්මින් මහේෂිගෙ දුබල කටහඬ.. ඒ කටහ‍ඩේ ගොඩාක් දුක පිරිල කියල මට හිතුන..

ඔව් මහේෂි කියන්න..

සර්ල පරිසමට ගියා නේද සර්... දැන් කොහෙද ඉන්නෙ...

ඔව් මහේෂි... අපි ආව.. ප්‍රශ්නයක් නෑ...

දැන් කොහෙද ඉන්නෙ... සර්ට නවතින්න තැනක් හොයා ගත්තද?

ඔ ඔව් මහේෂි.. මම හොටෙල් එකක රූම් එකක් ගත්ත.. කොල්ලො ටික පන්සලක නැවතුනා මං හිතන්නෙ..

හරි සර්... නිකන් මම කෝල් කලේ විස්තර බලන්න.. මන් තියන්නම් සර්..

ඕ.කේ මහේෂි..

බුදුසරණයි සර්...

බුදුසරණයි.. (දුරකථනය විසන්දි විය.. )

ආව් ආව්... උඹ මටත් බෝලෙ රෝල් කරානෙ මචන්... මහේෂි... ෂහ් ලස්සන නම ඈ... නම වගේම රූපෙත් ලස්සන ඇති.. මම දන්නවනේ... උඹේ සිලෙක්ෂන්...

උඹ පිස්සු කියවනව... ඒ අපේ ඔෆිස් එකේ ඇඩ්මිනිස්ට්‍රේටර් මචන්..

හම් හම්... ඔෆිස් තමා අන්තිමට කොකිස් වෙලා පවුල් වෙන්නෙ... මේ ඇයි උඹ හොටෙල් එකක ඉන්නෙ කීවෙ..?
 (හේමන්ත කීවෙ මන් දිහා හොරාට වගේ බලල හිනා වෙවී.)

නෑ බං.. බොසා මගෙ යාළුව.. ඌ කැමති නෑ මම චාටර් වෙනවට.. ඒකයි බන් එහෙම කීවෙ. පැහැදිලි කරනවට වඩා ඒක ලේසියිනි..

උඹනම් මාර පොරක් බන්... (හේමන්ත කීවෙ නැගිටල කාමරෙන් එලියට යන ගමන්...)

ඇත්තටම මහේෂි ඇයි කෝල් කලේ... ඒ කටහඬ් කියා ගන්න බැරි තරම් ලොකු දුකක් පිරිල තිබුන කියල මට දැනුන.. මොනවම හෝ කෙල්ලට කියා ගන්න උවමනා උනත් ඒක ගිලගෙන ෆෝන් එක තිබ්බ වගක් මගෙ හිතට දැනුන. ඇයි මං ගැන මහේෂි හොයල බලන්නෙ.. ප්‍රභා අහන්න කීවද? නෑ... එහෙමනම් කියනවනෙ.. නිකන් කථා කරා කියලනෙ කීවෙ.. පයාදු කතියක් එක්ක ඒ කටහ‍ඩේ කොහේ හෝ තැනක යම් හැඟීමක් තිබුන... ඒක සෙනෙහසක්ද? ගෞරවයක්ද? මට කිසිදෙයක් හිතාගන්න බැරුව කල්පනා කර කර හිටියෙ..

මේ.. ඇති ඔය හීන ලෝකෙ කිමිදුනා... අන්න ලොකු හාමුදුරුවො කථා කලා...
හේමන්තගෙ කටහඬට මං ගැස්සිලා හිටිය.. පැය භාගෙකටත් වඩා මම සිතිවිලි අතර තනිවී හිඳ ඇති වගක් පෙනුනෙ ඔරලෝසුව බැලුවම...

අවසරයි අපෙ හාමුදුරුවනේ...

හාමුදුරුවො හිටියෙ, දිවුල් ගස් සෙවනෙ තිබුනු පුංචි ගල් පඩියක් උඩ අසුන් ගෙන. එතනට කතරගම පරිසරේ සුන්දරත්වය ගොඩාක් ලස්සනට පෙනුන.. මොණරුන්ගෙ අසෝබන හඬ සුන්දර පරිසරයට එක්කලේ අමුතු අද්දැකීමක්...
දරුවො... වාඩි වුනානං...

එහෙමයි හාමුදුරුවනේ...
(හාමුදුරුවන් වැඩ සිටි ගල් පඩියට පහල පඩියක අසුන් ගත්තෙ ලොකු කථාවකට මුල පුරන්න හාමුදුරුවො අර අදිනවාදෝයි සැකයෙන්..)

ඉතින් දරුවො... කොහොමද?

හොඳයි අපෙ හාමුදුරුවනේ... මෙහෙ හරිම නිස්කලංකයි... ලස්සනයි..

ම්... මේ දරුව ගොඩක් දුකෙන් නේද ඉන්නෙ.. මානසිකව විඳවනව නේද කුමක් හෝ ගැටළුවකට..

අපෙ හාමුදුරුවනේ...

අනිත්‍ය ජීවිතේ සත්‍ය මෙහනහි කරගන්න දරුවො... ඇස් වලින් නෙවේ... නුවණින් ලෝකය දකින්න.

අපෙ හාමුදුරුවනේ.. ඔව්.. මම ගොඩක් විඳවනව.. ගොඩක් දුකින් ඉන්නෙ... ඒත්... ඔබ වහන්සෙ කොහොමද ඒක දන්නෙ..

කියපු කාරණා සත්‍ය නම් එච්චරයි..

හාමුදුරුවන්ගේ මේ සුවිශේෂී හැකියාව හමුවේ මම ම‍ගේ දුක පිරි අතීතය ආවර්ජනය කරන්නට වුනා..
නිහඬව විටෙක දෑස් පියා ගනිමින්, තවත් විටෙක ඇඟිලි වලින් මොනවාදෝ ගන්න හදමින්, ඈත අවකාශය ‍දෙස බලාගෙන සියල්ල  උන් වහන්සේ නිහඬව අසා සිටිය..

ඔය දරුවගෙ උපන් දිනෙයි උපන් වෙලාවයි විතරක් පුළුවන්නම් මට දෙන්ඩකෝ..
(සියල්ල අසාගෙන හිඳ අවසානයේ උන් වහන්සේ පැවසුවේ එපමනයි..)
මගෙ උපන් දිනයයි උපන් වෙලාවයි මට හොඳට මතකයි... මම ඒ දේවල් උන් වහන්සෙට ලබා දුන්න..

ම්... මම හවසට මේ දරුවට කථා කරන්නම්.. ම්..
කාලය ගෙවිල ගියා.. උදේට දවල්ට දෙකටම පන්සලෙන් කෑම ලැබුන..
හවස 4 ට විතර නැවතත් හාමුදුරුවො මට කථා කලා..

මම මේ දරුවගෙ වෙලාව පොඩ්ඩක් බැලුව... ම්... බොහොම බලගතු නැකතකින් උප්පත්තිය ලබල තියෙන්නෙ... අපල උපද්‍රව නම් එහෙමෙටම කියල මහ ලොකුවට නෑ.. අර ගෑණු දැරිවිගෙ ‍මොකක් හරි පෙර කර්මයක් වෙන්න ඇති පල දෙන්න ඇත්තෙ... ම්...

මටත් හිතාගන්න බෑ හාමුදුරුවනේ...

මේ දරුවට ගොඩක් ශාෂ්ත්‍ර ඉගෙන ගන්න වරම් තියෙනව.. ම්.. කාලි මෑණියො බොහොම ළඟින් ඉඳන් පිහිට වෙනව... මන් දන්න ශාස්ත්‍රයෙන් ජීවිතේට ප්‍රයෝජනවත් ටිකක් මම කියල දෙන්නම්... හැබැයි... එක පොරොන්දුවක් පිට..

ඒ මොකක්ද අපෙ හාමුදුරුවනේ...

යහපතට පමනයි යොදා ගන්න ඕනෙ තේරුනාද?

එහෙමයි..

මුලින්ම මම කියල දෙන්නම් හිත හික්මවා ගන්න භාවනා ක්‍රම කීපයක්... මේ ඉන්න ටික දවසේ ඒ ටික ප්‍රගුණ කරල, සාර්ථක බව හැඟුනොත් නැවතිලා දින කීපයක් මේ ශාස්ත්‍ර ඉගෙන ගන්න.. තරමක් දුරට... ම්..

එහෙමයි අපෙ හාමුදුරුවනේ... මම පොරොන්දු වෙනව... අයහපතට මේ දේවල් යොදවන්නෙ නෑ කියල...මම හිතුවෙ හාමුදුරුවො යන්ත්‍ර මන්ත්‍ර ගැන උගන්වන්න හදන්නෙ කියල...

දින කීපයක් ඔහේ ගෙවිල ගියා... හේමන්ත හාමුදුරුවොත් එක්ක දර්මදේශණයකට කොළඹ ගියා.. දවල්ට ළමයි ටිත් ගියාම පන්සලේ ඉතිරි උනේ මම විතරයි.. හාමුදුරුවො කියල දුන්න විදියට මම භාවනා කරන්න පටන් ගත්ත...

භාවනාවට සම වැදිල මම පැය ගණනක් ඉන්න ඇති.. එක පාරටම මට මහා ලේ ගොඩක් මැද කෙඳිරි ගාන යමෙකුගේ රුවක් පෙනී නොපෙනී ගියා වගේ උනා..

ටිකක් විතර හිතත් කලබල උන නිසා මම භාවනාවෙන් මිදිල නැගිට්ටෙ හාමුදුරුවන්ට කෝල් එකක් ගන්න.. මගෙ ෆෝන් එකේ බැටරි බැහැල කියල දැනගත්තෙ එවෙලෙ..ෆෝන් එක ටිකක් චාජ් වෙන්න දාල මම පාර දිහාට පල්ලම් බැස්සෙ පෙට්ටි කඩේකින් තේ එකක්වත් බොන්න හිතාගෙන..

ටික වෙලාවක් ගතවෙන්න ඇති... ළමයි 4 දෙනෙක්ම හති දමමින් පන්සල පැත්තට දුවගෙන එනව මට පෙට්ටි කඩේ ඇතුලෙදිමයි පෙනුනෙ.. බිබී හිටපු තේ එකත් දාල මුදලාලිට සල්ලි දීල පාරට පැන්නෙ මේ දවල් බඩුත් උස්සගෙන ආපහු එන ළමයි දිහා බලාගෙන..

ඇයි රුවන්... මොකද මේ.. හොඳටම බයවෙලා ...

සර්... සර්...

හති දමමින් රුවන් කථා කරන්න උත්සාහ කලත් කිසිවක් කියාගන්නට බැරි තරමට රුවන් මහන්සියෙන් හිටියෙ...

රුවන්... කලබල වෙන්න එපා.. හෙමිහිට මහන්සි ඇරල කියන්න.. ම්.. කෝ අනිත් දෙන්න.. ඇයි මේ 4 දෙනෙක්ම මේ දවල් ආපහු..

කොල්ලො ටික ඔක්කොම හිටියෙ ගොඩක් කලබල වෙලා... ඒත් කාටවත් කථා කර ගන්න බැරි තරමට හැති.. කුමක්ද සිදුවී ඇත්තෙ..? ඇයි මේ දවල් මේ අය ආපසු ආවෙ... ගෙනියපු බඩුත් එහෙමම.. අනික 4 දෙනෙක්ම...? කවුරුවත් මේ ළමයින්ට ගහන්නවත් ආවද? නැත්නම්...? අනිත් දෙන්නට කරදරයක්වත්ද? මට දැඩි කුතුහලයක් දැනෙන්නට උනා...

සර් ලොකු කරදරයක් වෙලා... සර් ට අපි කෝල් ගත්ත. ෆෝන් එක වැඩ නෑ.. පස්සෙ දුවගෙනම ආව පයින්ම...
 මාව අන්ද මන්ද කරමින් රුවන් වචන් ටික පිට කලේ දෙකට නැමීගෙන හති ඇරමින්...

ඇයි... මොකද වෙලා තියෙන්නෙ...? මගෙ ෆෝන් එක චාජ් එකේ.. බැටරි බැහැල...

තවත් කොටසක් සමග නැවත හමුවෙමු..මෙම නවකථාවේ සියළුම අයිතීන් FreeGetLanka සතුවන අතර අනවසරයෙන් උපුටා ගැනවීම සපුරා තහනම් වේ..
ඔබගේ අදහස් යෝජනා අපට කියන්න.. අපගේ ඉදිරි ගමන ඔබගේ අදහස් මත රැඳී පවතිනු ඇත..
(මෙය සත්‍ය කථාවක් වන අතර මෙහි ඇතැම් නම් ගම් පමනක් මනංකල්පිත වේ..)

2 comments:

  1. මේ කථාව නම් කුතුහලෙන් අපේ හිත් පුරවනව..
    පුදුම ලේඛන ශෛලියක්නෙ මේක..
    මාර ලස්සනයි අයියෙ..

    ReplyDelete
  2. ස්තූතියි..
    ඉතිරි සියළුම කොටස් කියවීමට මෙතැනට යන්න..
    ඉතිරි කොටස් සියල්ලම

    ReplyDelete